පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, March 11, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 10 කොටස - New Gadgets for New World Part 10

ගන්නවා නම් මේක තමයි පෑන 







තමන් සහභාගීවන දේශනවල සටහන් තබාගැනීම සිසුන් විසින් කළ යුතු දෙයක්. මේවා ලියා ගැනීම ඇතැම් විට කරදරයක් සේ දැනෙන නිසා බොහෝ දෙනෙක් දැන් ඒවා පටිගත කොට පසුව සටහන් බවට පත් කරගන්නවා. මේ ගැන කල්පනා කළ එක් ලයිව්ස්ක්‍රයිබ් කියන ලෝක ප්‍රසිද්ධ සමාගම අමුතු ආකාරයේ පෑනක් (Echo Smartpen ) නිෂ්පාදනය කළා. මේක බැලූ බැල්මට සාමාන්‍ය පෑනක් නමුත් හැකියාවන් නම් අසාමාන්‍යයි. මේ පෑනේ ගිගාබයිට් 2 සිට ඉහළට මතක ධාරිතාවයක් තියෙනවා. ගිගාබයිට් 2ක ධාරිතාව තුළ පැය 200ක කාලයක් ශබ්දය පටිගත කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් උපාගංයක් වුණත් මෙයින් සාමාන්‍ය පෑනක් වගේ ලියන්නත් පුළුවන්. තීන්ත සහිත කාට්‍රිජයක් මාරු කරමින් භාවිත කරන්න පුළුවන් ආකාරයෙන් සකස් කොට තිබෙනවා. මෙහි ඇති සුවිශේෂීතම හැකියාව තමයි ඔබ මේ විදිහට ලියන සියල්ල සටහන් ආකාරයෙන් පෑනේ මතකයේ තැන්පත් වීම. ඒ වගේම සටහන් ලියන අතරේ අඳින රූපසටහන් පවා ඒ ආකාරයෙන්ම මෙහි මතකයේ තැන්පත් වෙනවා. දේශනය අවසන් වීමෙන් පසු ඔබ කළ යුතු වන්නේ මේ පෑන් පරිගණකයට සම්බන්ධ කොට අදාල සටහන් ටික එයින් ලබාගැනීමයි. මෙම සටහන් ලිවීම සඳහා විශේෂයෙන් සකස් කළ සටහන් පොත් තිබෙන අතර ඒවා පහසුවෙන් සාමාන්‍ය මිලක් යටතේ ලබාගන්ට පුළුවන්. මෙය ආරෝපණය කිරීම සඳහා මයික්‍රෝ යූඑස්බී පෝර්ට් එකක් තිබෙනවා. හෙඩ්ෆෝන් එකක් සවිකිරීම සඳහා වෙනම පෝර්ට් එකක් තිබෙනවා. කුඩා ස්පීකරයක් තිබෙනවා. මිල ඇමරිකානු ඩොලර් 199.95ක් (රු. 28,655ක්) වෙනවා. 






අලුත් පරපුරට අලුත් යතුරු පුවරුවක් 








පරිගණකය සඳහා විවිධ පුහසුකම් ඇති යතුරු පුවරු, එහෙමත් නැත්නම් කීබෝඩ් ඕනෑ තරම් වෙළෙඳ පළෙන් ලබාගන්න පුළුවන්. නමුත් ලොජිටෙක් සමාගමින් හඳුන්වාදී ඇති මෙම K480 යතුරු පුවරුව එකක් ටිකක් වෙනස්. මෙය පරිගණකය සමඟ පමණක් නෙවෙයි ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනය හෝ ටැබ් එක් සමඟත් භාවිත කරන්නට පුළුවන්. ස්මාර්ට් දුරකතනය හෝ ටැබ් එක්  සිටුවා තබාගන්නට අවශ්‍ය පහසුකම්ද මෙහි තිබෙනවා. බ්ලූටූත් හරහා අදාළ උපාංග සමඟ මෙය සම්බන්ධ වනවා. මීටර් 10ක් පමණ දුර පරාශයක් තුළ මෙහි බ්ලූටූත් ක්‍රියාත්මක වෙනවා. යතුරු පුවරුවේ ඇති එක් බොත්තමක් එබීමෙන් පමණක් පරිගණක, ස්මාර්ට් ෆෝන් හෝ ටැබ් අතර මෙය භාවිතය සඳහා මාරු කරගැනීමේ හැකියාව තිබෙනවා. AAA වර්ගයේ බැටරි දෙකකින් මෙය ක්‍රියාත්මක වන අතර එය වසර දෙකක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත්. බැටරි ආයුකාලය පෙන්වන එල්ඊඩී බල්බයක් මෙහි ඇතුළත්. මිල යුරෝ 49.99 (රු. 7865ක්) වෙනවා. 




විනෝද චාරිකාව සතුට දෙගුණ කරන්නට ස්පීකරයක් 





විනෝද ගමන් බිමන් යද්දි ගීත වාදනය කරමින් විනෝද වෙන්න බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. ගීතයේ හඬ ටිකක් පපුවට වදින තරමට ඇහෙනවා නම් තමයි සතුට වැඩිවෙන්නේ. නමුත් මේ සඳහා සාමාන්‍ය බැෆල් කට්ටලයක් අරන් යනවා නම් ඒ සඳහා සැළකිය යුතු ඉඩක් වෙන් කරගන්නට අවශ්‍යයි. ඒ සඳහා තවත් උපාංගත් අවශ්‍ය වෙනවා. නමුත් අයිලව් සයිරන් ප්‍රෝ’ (iLuv SyrenPro) ස්පීකරය ගත්තොත් මේ අපහසුකම් කිසිම දෙයක් නැහැ. මේ ස්පීකරය උසින් අඟල් 11.6යි. පළලින් අඟල් 8.35යි. බර රාත්තල් 4.18යි. නමුත් ප්‍රමාණයේ හැටියට නෙවෙයි වැඩ. දැවැන්ත බැෆල් කට්ටලයක් තරම් හඬක් නිකුත් කරන්නට මේ කුඩා උපාංගයට පුළුවන්. මෙය ස්පීකර් තුනකින් සමන්විත අතර ඉතාම ඉහළ ගුණත්වයකින් යුක්තව ස්ටීරියෝ ආකාරයෙන් ශබ්දය නිකුත්කිරීමේ හැකියාව තිබෙනවා. නැවත ආරෝපණය කළ හැකි බැටරියක් ඇති අතර එයින් නොනවත්වා පැය 4ක් කාලයක් මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්. බ්ලූටූත් හරහා ඔබගේ ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය හා සම්බන්ධ විය හැකි මෙය සාමාන්‍ය ස්පීකර් කට්ටලයක් භාවිත කරන්නට අවදානම ඇති ඕනෑම ස්ථානයක් සඳහා සුදුසුයි. ඒ කියන්නේ ජලය විසිවිය හැකි, දැඩි අව් රශ්මිය ඇති, වර්ෂාව ඇති ඕනෑම ස්ථානයක් මෙය බයක් නැතිව භාවිත කරන්න පුළුවන්. මෙහි මිල ඇමෙරිකානු ඩෙලර් 129.99 (රු. 18,630) ක් වෙනවා. 





මේක තමයි ෆෝන් කේස් එක 







මේ ආරංචිය කියන්නේ අයිෆෝන් හිමිකරුවන්ටයි. මෙය ඔබේ ජංගම දුරකතනයේ ආරක්ෂාව වෙනුවෙන් සවි කළ හැකි ෆෝන් කේස් එකක්’. හදිසියේ දුරකතනය බිම වැටුනොත් සිදුවිය හැකි අනතුරු බොහොමයක් වළක්වා ගන්නට මේ නිසා හැකියාව ලැබෙනවා. මෙවැනි ඒවා වෙළෙඳ පළේ තිබුණත් මේ කියන්නට යන උපාංගයේ ඇති අනෙක් පහසුකම් නම් වෙන තැනකින් ලබාගන්නට බැහැ. Mophie Space Pack නමින් හදුන්වන මේක  තමයි දුරකතනයට අතිරේක බලයක් සහ මතක ධාරිතාවයක් සැපයිය හැකි එකම ෆෝන් කේස් එක. මෙය ඔබගේ අයිෆෝන් එකෙහි ආරක්ෂාව වෙනුවෙන් සවි කළාට පසුව බැටරි බැස යාම ගැන වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව මෙහි අතිරේක බැටරියක් ද පවතින නිසයි. ඒ විතරක් නෙවෙයි මෙය ගිගාබයිට් 32ක් හෝ 64 දක්වා වු මතක ධාරිතා සහිතව ද ලබාගන්නට පුළුවන්. ඒ නිසා ඔබේ දුරකතනයේ මතක ධාරිතාවය ද වැඩි වෙනවා. අනෙක මෙහි බැටරියේ සහ මතකයේ තත්වය දුරකතනය ඔස්සේම පරීක්ෂා කර බලන්නටත් පුළුවන්. මිල ඇමෙරිකානු ඩොලර් 149.95 (රු. 21,490) ක් වෙනවා. 





රෙදි සේදීමේ යන්ත්‍රයේ විප්ලවයක් 










සාමාන්‍යයෙන් අප නිවෙස්වල ඇති රෙදි සෝදන යන්ත්‍රවල සේදුම් කොටස කරකකැවෙන්නේ එක් ආකාරයකින්. උඩින් රෙදි දාන යන්ත්‍රයක් නම් වමට සහ දකුණට වශයෙන් තිරස් අතට කරකැවෙනවා. ඉදිරියෙන් රෙදි දානවා නම් සිරස් අතට දෙපැත්තට කරකැවෙනවා. නමුත් තිරස් සහ සිරස් කියන ආකාර දෙකටම ක්‍රියාත්මක වන යන්ත්‍ර වෙළෙඳ පළේ නැහැ. මේ ගැටලුවට විසඳුමක් විදිහට තමයි මේ ඕර්බිටල්රෙදි සෝදන යන්ත්‍රය නිෂ්පාදනය කොට තිබෙන්නේ. එය මේ සඳහන් කළ ආකාර දෙකටම කරකැවෙමින් වඩාත් හොඳ රෙදි සේදුමක් ලබාදෙනවා. අනෙක මේ සඳහා ජලය අවශ්‍ය වන්නේ නැහැ. මෙහි රෙදි දැමීම සඳහා ඇති අධිසන්නායක ගෝලය යන්ත්‍රයට සවි කළ පසු එය දියර නයිට්‍රජන්වලින් පිරෙනවා. ඉන්පසුව මෙය තුළ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඉන්පසු මෙය තුළ ඇතිවල වියළි අයිස් රෙදිවලට කිසිදු හානියක් නොකරමින් ඉතා වේගයෙන් චලනය වන්නට පටන් ගන්නවා. මිනිත්තු 3 -4 කින් රෙදි සේදී අවසන් වෙනවා. අනෙක මේ රෙදි සෝදන කොටස ගළවා පිටතට ගෙන රෙදි දමා යන්ත්‍රයට සවිකරන්න පුළුවන්. රෙදි සේදීමෙන් පසුවත් මේ ආකාරයෙන් ඒ කොටස ගළවා පිටතට ගෙන රෙදි ටික ලබාගන්නට පුළුවන්. මෙය තවමත් වෙළෙඳ පළට පැමිණ නැති බව පෙනෙන්නට ඇති නිසා නිවැරදි මිලක් සොයාගැනීමේ හැකියාවක් නැහැ.

2 comments:

  1. වටිනා ලිපියක්..

    ReplyDelete
    Replies
    1. අදස් දැක්වීම ගැන ඔබට ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න